Sunday, January 17, 2016

පතන්බිම ගැන යළි වදනක්....





මගේ පළමු කවි පොත වෙනුවෙන් වෙන් වන මේ පතන්බිම බ්ලොග් අඩවිය  මවෙත යෝජනා කරමින්, එහි වටිනාකම පෙන්වා දෙමින් මාව දිරිමත් කළ අතුල සිරිවර්ධන මහතාගේ නාමය මෙහිදී පළමු කොට සිහිපත් කරමි.
ඔහු නොවන්නට මෙවන් අදහසක් ඒද නොඒද යන්න කීමට මට බැරිය.
පතන්බිම කෘතිය මවිසින් කරණුයේ මීට වසර විස්සකට ( 20 ) ට පමණ එපිට දී ය. එහෙත් එහි එන කවි වලට මුළ පිරුම තවත් වසර කිහිපයක් එහාට දිව යයි.
එවිට මම සරසවි සිසුවෙකි. වෛද්‍ය සිසුවෙක් ලෙස අපමණ දුෂ්කරතා මධ්‍යෙය්ය මට මේ කවි පොතකට ගොනුකර ගන්නට හැකි වුණේ.
මෙතරම් කල් ගත වූ පසු මෙහි සමහර කවි වලට කාලීනව ඇති වටිණාකම පිළිබඳව යම් අවතක්සේරුවක් කෙනෙකුට ඇති විය හැකිය. එහෙත් පොතක් බ්ලොග් අඩවියකට ගෙන ඒමේදී සමහර කවි අතහැරීම නුසුදුසු යැයි හැඟුනු බැවින් සෑම කවියක්ම යළි පළ කරමි.
මා කවියෙහි යම් උත්සාහයක් ගත්තෙකු මිස කවියෙකු නොවන බවද මෙහි ලියා තැබිය යුතු යැයි සිතමි.
කෙසේ වෙතත්, කවියට උත්සාහ ගැනීමේදී මුල්ම යුගයේදී කවි මගෙහි අසමබරව අඩි තබා පැමිණෙන අප දෙස දයාවෙන් බැලූ රත්න ශ්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ, දයාසේන ගුණසිංහ, කේ. එම්. අයි. ස්වර්ණසිංහ , සීතා රංජනී ඈ කිවි කිවිඳියන්ද,ඒ මගේ විශ්වාසයෙන් පිය මං කිරීමට ශක්තිය සපයමින්ද, අත්දැකීම් හුවමාරු කරගනිමින්ද සහාය වූ මහින්ද කුමාර දළුපොත, තිඹිරියාගම බණ්ඩාර, වසන්ත බණ්ඩාර දුක්ගන්නා රාල, කුමාර ලියනගේ, නිලාර් එන්. කාසීම්, ලියනගේ අමරකීර්ති, ජයසිරි ජයසේකර, හිනිඳුම සුනිල් සෙනෙවි, සාමිනාදන් විමල්, රවි සිරිවර්ධන ඈ කවි මිතුරන්ද  සිහිපත් කරමි.
යසනාත් ධම්මික බණ්ඩාර   -



Saturday, January 16, 2016

35 නියත විවරණ


දරුවනි ඉවසන්න
කොටු ඇඳ තුළම ඉන්න
ගොම ගෑ දූලි බිම වුව
මුදු මෙළෙක පහස විඳගෙන ඉන්න
ඉලුක් පැල්පත් සෙවණ
දෙන සිසිල වැළඳගෙන ඉන්න
අම්මා කිරට ගොස්
කිරි අරන් වඩින තුරු
කිරි අම්මලාගේ තුරුළට වී ඉන්න

හිරු පිපුණු මේ උදය සුන්දරයි
පිනි වැටුණු තණ බිම ම සිසිලසයි
ඒත් තව මොහොතකින් කකියවයි
දරුවනි නවතින්න
තණ පලස තැනින් තැන
නිඳිකුම්බ පඳුරු මග රැක ඉඳී

නිඳිකුම්බ මල් හරිම ලස්සනයි
මල වටේ කටු කිසිත් නොපෙන්වයි
කොකු වගෙයි කටු හරිම තියුණුයි
නුඹලාගේ මුදු මෙළෙක් දෙපා නොව
ගොරහැඩි අපේ පා පවා උන් හිල් කරයි

තොටිල්ලෙ ම ඉන්න බැරි බව සැබැයි
කොටු ඇඳත් ඉඩ මදිවෙන හැඩයි
බිත්ති කඳු හතර ඉම් කඩ කුඩයි
එතැනින් එහා සුවිසල් ලොවයි
සැබෑවයි පුතණුවනි යා යුතුයි
නතර වී හිඳින කල
ඇත්ත
එය අපරාධයක්මයි
එහෙත් පුත ඉවසන්න
ඒ මඟෙහි අපත් ආ දුර ටිකයි

නිඳිකුම්බ
හරිම කරදරයකි හැබැයි
එහෙත් ඒ වේදනා ඉවසිය යුතුයි
මේ මගේ අප ගෙවූ දුර ටිකයි
නුඹලාට යා යුතු මග දුරයි
කටු ඉඹුල් බිඳලන්න
නුඹලාට හුරුවිය යුතු වෙයි

පුතණුවනි ඉවසන්න
කිරට ගිය අම්මා
විගසකින් කිරි සොයා ගෙන එයි
කිරි අම්මා නුඹලාට රස කතා කියා දෙයි
මා හනික යා යුතුයි
නිඳිකුම්බ පඳුරු හා සටනට
දරුවනි සමුදෙන්න
දිරිය නුඹෙ අහිංසක සිනාවයි
ආයුෂත් නුඹලගෙම කට හඬයි
ඒ ගමන මට යන්න!

34 හෝඩි පොතේ මිතුරුතුමෝ


සාමා
අමර කෝ?
අත පොත් තැබුව
හෝඩි පොතේ හිටිය
මගේ සුමිතුරාණෙන

හමු වුණේ නෑ ඉන් පසු
කියවූ කිසිම පොත් පිටක
බාලාංශයෙන් කෙළවර වුණාදෝ
ලැබුව ශිල්පය
නැතිව වියදම් කාසි

සරසවිය තුළ මා යනෙන තැන
විමසා බලමි ළං ළං ව
හැම මුහුණකම
ඇඳී ඇති
හුරු පුරුදු සිනා වත
“පුංචි පුංචි තාරකා”

මට මුල් අකුරු කියා දුන්
කෙලෙස නම් සිතන්නද
ලකුණු මද විනැයි
සරසවි වරම් ලැබුමට

හිටියා නම් හරියට ම
අමරෙට මගෙ වයස
නංගිගේ වයස නොවැ සාමා ට
ගෙවුණි නම්
ගෙවුණු රුදු කල දවස
රකුසු නෙත් අග්නියෙන් ගැලවී
මෙහෙ නැතත් කොහේ හරි
සරසවියක ම ඇති
මම කොහොම හිතන්නද
ලකුණු මද විනැයි
සරසවි වරමට
සාමාට මෙන් ම අමරෙට ද

අසුවිණිද
බියකරු ම ඒ ඝෝර කුණාටුව ට
ගියෙද පාවී නපුරු හිමයට
ගියෙද වැලලී දැවුණු වාළුකාවෙක
ඇසෙන හැම තැනම ගොස්
සොයමි මම
අතීතය වළලා දැමුණු තැන
හුරු පුරුදු මුහුණුවර
අපේම සාමලාගේ
අපේම අමරලාගේ









33 අළුත් සහල් මංගල්‍යය



අතිගරු මහත්වරුණි
වරදක් නම් සමාවුව මැනවි
සැතක් සේ පෙනෙනු ඇත වචනය
හිතුමතේ දමා නොගසමි

රිදෙනු ඇත කැපී තැන තැන
රුහිරු වැගිරෙනා
වරද දත් නිසා
වරද දැන දැන ම මුනිවත
රකිනු ඇති නිසා

කැඳ උගුරක් ඉදෙන
කලකින් බතක් නොඉදුන
ලිග්ගල මතට මුට්ටිය
නගිනා වරම් අහුරන
සුනු සහල් මිටකුදු
මුදලට හැර ණයට නොදෙන

අස්වනු නෙළූ බැවින
ලැබූ බැත සිත තුටු කරණ
සියළු දෙවි දේවතාවුන් වෙත බැතිණ
මේ අළුත් සහල් මංගල්‍යය

වට පිටාවේ නිබඳ
නඟුල් දෑකැති උදළු
සමග සුරතල් වන
අහිංසක නෙත්
බලාපොරත්තුවකුදු නොමැතිව
ඈත..... කොහේදෝ ඈතක
බලන සඳ

දැක
ඉඩම් හිමි වැවිලිකරු දෙවොල අස
උතුරන කිර
අඳ ගොවිතැනේ රඟ අමතක ව
කට කොනක සිනා මල් පුබුදින

අතිගරු මහත්වරුණි,
උන් නමින් මට කියන්
කුමක්දැයි මට කියන්
මේ
මංගල්ලය....!


32 අසපුව


මේ ගං ඉවුරු ඉඩ
අනවසර බිම් කට්ටිය
නෙක බියෙන් හිස පිරුණු
මගෙ පුංචි පැල්පත

බොහෝ දුක් දොම්නස
මසවුළු ලෙසට ඉවසන
නුඹෙ අතින් හැඩ වුණ
මට මහා මන්දිරයක සුව දෙන

වැහැරී ගිය දෙතන
දෙස බලා දුක්වන
රැව වියැකි නිසා නොව
සිඟිති මුව වෙත
කිරි බිඳක් නැතියෙන

යාන වාහන සෙල්ලම්
පාට පාටින් සළු පිළි
නොමැති වුව කේඩෑරි ඇඟ පත
කිරිදත් සිනා පා
තණ පලස මත කෙළිමින

සිදාදියෙ නිරින්දෝ
වර වර කියා කැන්දා
දෙන සොච්චමට කඹුරන
මා වැනිම දිළින්දෝ

රන් වටිණ දා බිංදු වීසි කර
දෙන තඹ කාසි අහුලන
සති අන්ත දිනයක
අතු මාළිගා බලා ඉගිලෙන

විඳි දුක් ම වගුරන
සඟවා ගත නොහැකි විඩා මුව
ඔසවාන නිවහනට වන් සැන
නෑ බෑ නොකියාම
නුඹ සිනා පීදෙන

දුක් විඳින දිළින්දෝ
දුක් අසන නිරින්දෝ
කොයි දාක අපි නියම
මිල අපට ගෙවන්දෝ?

31 සිපිරිගෙයි සිර කළ ආදරයක්


පෙම්බරාණනේ කොයි වෙද
එදා අප වින්ද සිසිලස
දුටවෙ නෑ වසර ගණනක්
උද හිරි පිපෙනු අහසින

එපා පෙළන්නට මා හද
මා ප්‍රියේ කිසිත් නොදනිම්
උයන් තුරු පහස උදුරා
මේ සිපිරි ගෙයට ලූ බව

පෙම්බරාණනේ කෙදිනද
දකින්නේ වනේ අසිරිය
පුර දනෝ සරණ මේ ඉම
පෙම් දෙලෙන් සිටිනු කෙලෙසින

මම් කෙසේ කියන් පිලිතුරු
ප්‍රියේ අසරණයි මා හද
අනේ මහතුනේ කවදා
අපේ පෙම මදා හරිනුද ?

ඉසුරුමුණි විහාරය අසල ඉදිකොට ඇති කෞතුකාගාර ගොඩනැඟිල්ලක විදුලි එළි මැද සිරව ළතැවෙන සුප්‍රසිද්ධ ඉසුරුමුණි පෙම් යුවල එදා සිටියේ විහාරයට නුදුරු උයන් තුරු වලුලේ ය.

මෙම කවිය පසුව යම් වෙනස් කම් සහිතව ගීත රචනයක් බවට පත් විය. එය නවරත්න ගමගේ ගේ සංගීතයට ආචාර්ය වික්ටර් රත්නායක සහ විශාරද නිර්මලා රණතුංග විසින් ගයනු ලැබීය.
මේ කෞතුකාගාර ගොඩනැගිල්ලක් තුළ සිරකළ ආදරයක ගීතයයි.

සොඳුරු වත මිලින කිම අද කියන් කාරණා
පෙම්බරිය, මමයි නුඹෙ හද දිනූ පෙම්බරා
ඉසුරුමුණි ගලම කඳුළින් තෙමී නැහැවෙනා
කාරණා කියන් නුඹෙ හද දවා පාරනා...

අඳුරු බිම ගලන දොම්නස හදේ මෝරනා
පෙම්බරිය, මමයි නුඹෙ හද පෙමට යාවෙනා.

පෙම්බරාණනේ කොයිවෙද වින්ද සිසිලස
දුටුවෙ නෑ වසර ගණන් උදා හිරුත්  නැගෙනු අහසින
එපා පෙළන්නට මා හද - මා ප්‍රියේ කිසිත් නොදනිම්
උයන් තුරු පහස උදුරා මේ සිපිරිගෙයට ලූ පව....

කියන්නේ කෙසේ පිලිතුරු කඳුළු කාරණා
රන්මසු උයන් වැවු තෙර උපන් ප්‍රේමය මුදා දෙන්නේ කෙදිනදෝ.....
සුපෙම්බරාණනි කෙදිනද විඳින්නේ වනේ අසිරිය
පුර දනෝ සරණ මේ ඉම පෙම් දෙලෙන් බැඳෙනු කෙලෙසින...

පද: යසනාත් ධම්මික බණ්ඩාර
ස්වර : නවරත්න ගමගේ
හඬ: වික්ටර් රත්නායක / නිර්මලා රනතුංග

( කිඳුරු ගීතය සංයුක්ත තැටිය - යසනාත් ධම්මික බණ්ඩාර ගී සිත්තම් 16 )

"සොඳුරු වත මිලින කිම අද" ගීතය මෙතනින් අසන්න.
https://youtu.be/tsQfcZ-28lg

30 කිරට නොහැරුණ කවි


පතන්බිම මගේ හදවත
තවමත් දිය සීරාව වෑහෙන
පන්හිඳ නිරතුරුව උල් වී
කවි සිතුවිලිම හඬවන
එදා කව් කළ නිමිති
තවමත් එලෙසට ම තිබුණද
නිම් වළල්ලම හැකිලී
ලිග්ගල් තුනට මැදි වින

මං බාලේ ඇති කළ
තලගොයි නොඑන්නම ගිහින්
මා ලියූ කවි පද අනන්තෙට
පවනේ පාව ගිහින්
වැදී සුදන කන් බෙර මත
හැඬවී වෙඬරු හදවත
සම්මානයක් වී ළඟට විත්
කිරි බිඳක් නම් නොවී

මේ පතන්බිම මත
තෘණ පඳුරු
නෙක නෙක කුඩා තුරු අග
හෙට පිපෙන කවි මල් වල
කිරි පිපී නැතිවාට
කඳුළු කැට පිපී දිළිසෙනු ඇත
ඒ කඳුළු සීරාව විලසට
හැමදාමත්ම පහළට
අපේ දුක් ගීත හඬ නොනගාම
දිළිඳු ගොවි කෙත් බිම් පුරාවට
ජීවිතය හා මුසුව ගලනු ඇත

කිරි නැතිවාට දියණී
පතන් බිම නැත තවම වියලී
එහි පිපෙන ගොටුකොළ දඬු
තවත් නෙක නෙක දිව ඔසු
තම්බා නුඹේ මුවට පාමි!

29 පමාවන දියවර

බිඳී කැණිමඬල මහ ගෙයි
දොරකඩ කිරි ගහ සසලව
මුදුන් අත්ත කැඩී ගිහින්
එහෙත් තවම
නැත අපලය ගෙවී ගිහින්

අගහිඟකම් සපුන් පැමිණි
රෑ යාමේ
හේන් යාය උඩින් නැඟෙන
කණාමැදිරි පහන් එළිය
අඳුර මකාලනු නොහැකිව
දුක් කඳුළැලි සීපදයට
බංඩි ගොයම පිපාසයට දුකින් යදින
කළු වළාව කඳුළු නොදෙන

අනාථ ආධාර සේලයින් දියරය
හාමතේ ම නිදන ගමට
දිවි රැකදෙන සිහින බිඳෙන
කඩිසර කඩි ගුලක් වගේ තිබුණු ගමක
වැසියන්
ඇඳ ගිලන් මතට ගාල් කරණ
නියං භීතියට ඔරවන
කතිර වේදිකා කටහඬ මොර ගා කිවු
මංගල දියවර නොම දෙන

කොඩි වැල් දැන්වීම් පුවරු
සිහසුන ලැබ සිනා පුරණ
මිරිවැඩි සඟලෙන් බැස ගිය ඒ දිනවල
දෝලාවක මැතිඳු වඩින
වෙඬරු හදවතට උණුසුම වැද
වැගිරිලා වැතිරෙන කුළුණු ගුණය
අනේ හද ගැබට සීමා වෙලා තියෙන
ආණ්ඩුවේ පනත් කොලේකට
නොවඩින

මහගෙයි සමතලා වෙලා
දොරකඩ කිරි ගහම වැටී
වැවෙන් ඉහළ කොත් කැරැල්ල බිඳී වැටෙන
ඈත කොහේදෝ ඉස්බක
වතුර බැංකු පොලී වෙලා
හදන විදුලි බල තඹ රැන් දිගේ දුවන
රාත්‍රිය ම එළිය වුණත්
මහගෙට එළි පොදක් නොදෙන!

28 ප්‍රභාතය


මුළුත් දස අතම විහිදුණු
අවිත් කටු ලෙසට උල් වුණු
දහස් සගයනුත් රැස් වුණු
රුද්‍ර භූමියේ

පිනි බිඳට පවා බිය වැද
සුළඟකින් පවා මුකුලිත
අඳුරටත් පෙරම නිදි වැදි
රුද්‍ර භූමියේ

සිඟිත්තන් කෙරෙහි යුධ වැද
උදළුතල නඟුල් අසබඩ
මහප්‍රාණයට හිස නැමි
යුද්ධ බූමියේ

පොඩි එවුන් අතර පිළිසිඳ
නිදිකුම්බ ලෙසට නම් ලැබ
උනුන් හා පෙමින් එකතුව
යුද්ධ බූමියේ

මලුත් පත් ඉරුත් සිඳ බිඳ
මුළුත් කඳ සිරස සුන් කර
දමන හස්ථයට එදිරිව
රුද්‍ර භූමියේ

තුත්තිරිත් තෘණත් ඈ නෙක
චූල දන දිනන මාවත
දිනන්නට පුදන් සවි බල
රුද්‍ර භූමියේ