Saturday, January 16, 2016

29 පමාවන දියවර

බිඳී කැණිමඬල මහ ගෙයි
දොරකඩ කිරි ගහ සසලව
මුදුන් අත්ත කැඩී ගිහින්
එහෙත් තවම
නැත අපලය ගෙවී ගිහින්

අගහිඟකම් සපුන් පැමිණි
රෑ යාමේ
හේන් යාය උඩින් නැඟෙන
කණාමැදිරි පහන් එළිය
අඳුර මකාලනු නොහැකිව
දුක් කඳුළැලි සීපදයට
බංඩි ගොයම පිපාසයට දුකින් යදින
කළු වළාව කඳුළු නොදෙන

අනාථ ආධාර සේලයින් දියරය
හාමතේ ම නිදන ගමට
දිවි රැකදෙන සිහින බිඳෙන
කඩිසර කඩි ගුලක් වගේ තිබුණු ගමක
වැසියන්
ඇඳ ගිලන් මතට ගාල් කරණ
නියං භීතියට ඔරවන
කතිර වේදිකා කටහඬ මොර ගා කිවු
මංගල දියවර නොම දෙන

කොඩි වැල් දැන්වීම් පුවරු
සිහසුන ලැබ සිනා පුරණ
මිරිවැඩි සඟලෙන් බැස ගිය ඒ දිනවල
දෝලාවක මැතිඳු වඩින
වෙඬරු හදවතට උණුසුම වැද
වැගිරිලා වැතිරෙන කුළුණු ගුණය
අනේ හද ගැබට සීමා වෙලා තියෙන
ආණ්ඩුවේ පනත් කොලේකට
නොවඩින

මහගෙයි සමතලා වෙලා
දොරකඩ කිරි ගහම වැටී
වැවෙන් ඉහළ කොත් කැරැල්ල බිඳී වැටෙන
ඈත කොහේදෝ ඉස්බක
වතුර බැංකු පොලී වෙලා
හදන විදුලි බල තඹ රැන් දිගේ දුවන
රාත්‍රිය ම එළිය වුණත්
මහගෙට එළි පොදක් නොදෙන!

No comments:

Post a Comment