දරුවනි ඉවසන්න
කොටු ඇඳ තුළම ඉන්න
ගොම ගෑ දූලි බිම වුව
මුදු මෙළෙක පහස විඳගෙන ඉන්න
ඉලුක් පැල්පත් සෙවණ
දෙන සිසිල වැළඳගෙන ඉන්න
අම්මා කිරට ගොස්
කිරි අරන් වඩින තුරු
කිරි අම්මලාගේ තුරුළට වී ඉන්න
හිරු පිපුණු මේ උදය සුන්දරයි
පිනි වැටුණු තණ බිම ම සිසිලසයි
ඒත් තව මොහොතකින් කකියවයි
දරුවනි නවතින්න
තණ පලස තැනින් තැන
නිඳිකුම්බ පඳුරු මග රැක ඉඳී
නිඳිකුම්බ මල් හරිම ලස්සනයි
මල වටේ කටු කිසිත් නොපෙන්වයි
කොකු වගෙයි කටු හරිම තියුණුයි
නුඹලාගේ මුදු මෙළෙක් දෙපා නොව
ගොරහැඩි අපේ පා පවා උන් හිල් කරයි
තොටිල්ලෙ ම ඉන්න බැරි බව සැබැයි
කොටු ඇඳත් ඉඩ මදිවෙන හැඩයි
බිත්ති කඳු හතර ඉම් කඩ කුඩයි
එතැනින් එහා සුවිසල් ලොවයි
සැබෑවයි පුතණුවනි යා යුතුයි
නතර වී හිඳින කල
ඇත්ත
එය අපරාධයක්මයි
එහෙත් පුත ඉවසන්න
ඒ මඟෙහි අපත් ආ දුර ටිකයි
නිඳිකුම්බ
හරිම කරදරයකි හැබැයි
එහෙත් ඒ වේදනා ඉවසිය යුතුයි
මේ මගේ අප ගෙවූ දුර ටිකයි
නුඹලාට යා යුතු මග දුරයි
කටු ඉඹුල් බිඳලන්න
නුඹලාට හුරුවිය යුතු වෙයි
පුතණුවනි ඉවසන්න
කිරට ගිය අම්මා
විගසකින් කිරි සොයා ගෙන එයි
කිරි අම්මා නුඹලාට රස කතා කියා දෙයි
මා හනික යා යුතුයි
නිඳිකුම්බ පඳුරු හා සටනට
දරුවනි සමුදෙන්න
දිරිය නුඹෙ අහිංසක සිනාවයි
ආයුෂත් නුඹලගෙම කට හඬයි
ඒ ගමන මට යන්න!
No comments:
Post a Comment