සාමා
අමර කෝ?
අත පොත් තැබුව
හෝඩි පොතේ හිටිය
මගේ සුමිතුරාණෙන
හමු වුණේ නෑ ඉන් පසු
කියවූ කිසිම පොත් පිටක
බාලාංශයෙන් කෙළවර වුණාදෝ
ලැබුව ශිල්පය
නැතිව වියදම් කාසි
සරසවිය තුළ මා යනෙන තැන
විමසා බලමි ළං ළං ව
හැම මුහුණකම
ඇඳී ඇති
හුරු පුරුදු සිනා වත
“පුංචි පුංචි තාරකා”
මට මුල් අකුරු කියා දුන්
කෙලෙස නම් සිතන්නද
ලකුණු මද විනැයි
සරසවි වරම් ලැබුමට
හිටියා නම් හරියට ම
අමරෙට මගෙ වයස
නංගිගේ වයස නොවැ සාමා ට
ගෙවුණි නම්
ගෙවුණු රුදු කල දවස
රකුසු නෙත් අග්නියෙන් ගැලවී
මෙහෙ නැතත් කොහේ හරි
සරසවියක ම ඇති
මම කොහොම හිතන්නද
ලකුණු මද විනැයි
සරසවි වරමට
සාමාට මෙන් ම අමරෙට ද
අසුවිණිද
බියකරු ම ඒ ඝෝර කුණාටුව ට
ගියෙද පාවී නපුරු හිමයට
ගියෙද වැලලී දැවුණු වාළුකාවෙක
ඇසෙන හැම තැනම ගොස්
සොයමි මම
අතීතය වළලා දැමුණු තැන
හුරු පුරුදු මුහුණුවර
අපේම සාමලාගේ
අපේම අමරලාගේ
No comments:
Post a Comment