Monday, December 21, 2015

00 අරුත් බර කවි සපුව - නන්දන වීරසිංහ




වර්තමානයේදී කවිය යනු සෞන්දර්ය රසාස්වාදය හා හුදු රසභාව සම්පාදනය ව්‍යාපාරයක් නොව, විඥානය හා ප්‍රඥාව වඩවන සමාජ නියාමක කලාංගයක් වී ඇත්තේය. එය ජීවිත ස්වභාවය නිරූපනය කරන්නා වූ හෝ පෞද්ගලික සමාජ මනෝභාවයන් ප්‍රකාශ කරන්නා වූ හෝ කලා කාර්යයකට වඩා ප්‍රායෝගික සමාජ මෙහෙවරකට අනුබල දෙන්නා වූ අඩංගුවකින් යුක්ත වෙයි. යථාර්ථය නිරූපනයෙන් පමණක් නොසෑහී, වඩාත් ව්‍යවහාරික නැඹුරුවකට පොළඹවමින්, සාමාජික ජයග්‍රහණයන් සඳහා අවශ්‍ය වන ශක්තිය අවදි කිරීම අද නව කවියන්ගේ කවි අරුමුණ සේ පෙනෙයි.
කවියෙහි පමණක් නොව, අන් ඕනෑම කලාවක් තුළ යථාර්ථය හෙළිදරව් කිරීමේ කාර්යයෙහි තත්පර වූ නිර්මාපකයෙකු දකින්නට අපි කැමැත්තෙමු. ඔහු වඩා අපගේ ප්‍රසාදය දිනා ගන්නේ, ස්වකීය කලාවෙහි ගුණාංග නොසිඳ ජනතාවගේ සාමූහික ශක්තිය හා ප්‍රඥාව වර්ධනය කරන්නේ නම් පමණි. හුදු ප්‍රචාරක ලකුණින් තොර වූයේ නම් පමණි.
යථාර්ථවාදී කෘතියක අපට දැකිය හැකි එක් වටිනා සාදකයක් නම් “සත්‍යය නිෂ්චිතය” යන දෘෂ්ටියයි. වඩා. යහපත් අනාගතයක් නිර්මාණය කළ හැකිය යන අපේක්ෂාව, ජනතාව වෙත සන්නිවේදනය කිරීම එබඳු කෘතියක වන ප්‍රමුඛ අභිලාශයකි. මෙකී සන්නිවේදනය මිනිසාගේ ජීවනයට සතුරු වන සමාජ කොන්දේසි නිසි ලෙස විමංසනය කොට කෙරන ප්‍රතිනිර්මාණයක් මිස සෘජු වාර්තාගත කිරීමකැයි නොසැලකුව මනාය.
පිරිපුන් මිනිසකු නිමවන එමගින් වඩාත් යහපත් හෙට දවසක උදාව පතන තරුණ කවියා තුළ, සැබැවින්ම දැකිය හැක්කේ ද්‍රව්‍යවාදී ලෝකය අවලෝකනය කරණ සැටියකි. මිනිසා පෙළන සතුරු බලවේග වල ප්‍රභවය ඔවුනගේ ගුණගරුක භාවයේ අඩුවක් හෝ කර්මයේ, දෛවයේ බලපෑමකැයි කල්පනා කිරීමට කවියාට නොහැකිය. ඔහු මිනිසාට අයහපත උදා කරණ ප්‍රතිවිරෝධතා සියල්ල භෞතික ලෝකය තුළම දකී. ඔහු තව දුරටත් පාරම්පරික මනෝ මූලික චින්තාවන්හි බැඳී නොසිටී.
නව කවියාට ඕනෑම දෘෂ්ටිවාදයකින් ප්‍රභාවක් ලද හැකිය. එහෙත් යම් දෘෂ්ටිවාදයක් කවිය මගින් නිසැක සත්‍ය ලෙස සම්ප්‍රේෂණය කළ නොහැකිය. එය යථාර්ථ නිරූපනය නොවේ. මන්ද යත්, යථාර්ථයම යනු යථාවර හෝ නිමා වී අවසාන වූ තත්වයක් නොවන බැවිනි. ජෝර්ජ් ලුකාෂ් නම් විචාරකයා පවසන පරිදි “යථාර්ථය නිරන්තර ප්‍රවාහයකි”. එය නවතම ගුණාංග රැස් කරමින්, පැරණි දෙයෙහි බොල් හැර, සරු දේ රැස් කරගන්නා ධර්මතාවකි.
කවියා යථාර්ථයෙහි වන මේ අපෝහක ස්වභාවය තේරුම් ගත්තෙකි. ඔහු ජීව ලෝකයෙහි සිදුවන වර්ධනය දෙස කුසීත කමින් බලා සිටින්නෙකු නොවෙයි. ඔහු විපරිණාමයෙහි වන වේගයට හසු නොවන බැහැරි පුද්ගලයෙකු නොවෙයි. ඔහුද සමාජ වගකීම් වෙත යොමු වන්නෙකි. එපරිද්දෙන් සෞන්දර්යය ඥානනය හා ප්‍රඥාව නිර්මාණාත්මක භාවිතාවට හසු කරන්නෙකි.
දුක් වේදනා අතර තෙරපෙමින්, ඒවා පිණි රස සේ ගෙන කරබා හිඳිනු පිණිස ජනතාව මෙහෙයවන ස්වරය වර්තමාන නිදහස් කවියෙහි නොවෙයි. සියළු නිෂ්ඵල දේ විවේචනාත්මකව බැහැර කරනා, සාමූහික ශක්තිය හා ප්‍රඥාව අගයන සුළු කටහඬ අද නව කවියෙහි රැවු දෙනු අපට ඇසෙයි.
යසනාත් ධම්මික බණ්ඩාර ගේ පතන්බිම කවි සංග්‍රහයේ එන පද්‍යයන්ගෙන්ද හෙළි වන්නේ මේ අප පිට දෙන යථාර්ථයේ ස්වරූපයයි. දිවි පෙවෙත පසුබිමෙහි වන පීඩිත සමාජ ආර්ථික පරිසරයෙහි ඛේදයයි.

ශ්‍රම පුදා වෙළඳ පුරවර
පින් ලබා ගනිමිනේ
අනුනගේ ගිණුම් තරකර
සොච්චමක් ලබමිනේ

පැවැත්මට සතුරු වන සමාජ ආර්ථික තතුව ඔහු දකී. කටුක ජීවන පීඩනයෙහි සැටිය දැක ඔහු ඊට පිටුපා නොයයි. ඔහු ඒවා තම අනගි අනුභූතීන් ලෙස රැස් කර කවිය සඳහා පිහිට කර ගනී. බැරි කමෙහි නැති කමෙහි පීඩාවෙන් පමණක් නොව, කාස්ටක නියං පොළොවෙහි - අහසෙහි පීඩාවද ඔහු සිය කවි ඇසින් දකී.

දිය බිඳක් නොලබාම
ඉරි තැලූ වැව් පතුල ළමැදේ
අව් කූටකෙන් දැවුණු
තිත්ත පැටවුන් පොකුර අතරේ
කොළ හැලී පොතු ගැළවි කණාටු වු
දර ඉපල්ලට පෙම් බඳින දේවි

යසනාත් කවියා බැඳී සිටින්නේ, යම් තර්කවාදයක හෝ අන් කිසි රමණීය කවි ආරම්මණයක නොවේ. ඔහු මේ කටුක සත්තාවෙහි, තැවෙන පෙළෙන පීඩිත මනුසතුන්ගේ ජීව ස්පන්දනයට සවන් දෙන්නා වූ කවියෙක් වෙයි. භෞතික පරිසරයෙහි දැඩිව පා දරා සිටින කවියා, එහි රුදුරු විෂම මුහුණ හැඳින සිටිනායුරු, මේ පද්‍ය සංග්‍රහය පුරාම දක්නට ලැබෙන විශේෂත්වය වෙයි. මේ විෂම සමාජ ස්වභාවයෙහි පැවැත්ම වූ කලී කුරිරු සමාජ ආර්ථික කොන්දේසි වල ඵලය බව ප්‍රකාශ කිරීම යසනාත් ගේ කවියේ වන එක් අරමුණකි.
අන් බොහෝ තරුණ කවීන් මෙන් රූපක බහුල, අනවශ්‍ය ශිල්පීය හරඹ සඳහා නොපෙළඹෙන යනසාත්, අරුත මූලික කර ගන්නා කවි සපුවක් නිමවයි. පුරෝගාමී නව කවීන්ගෙන් ඩැහැගත් ලකුණු දක්නට නොලැබෙයි. වඩා යහපත් ලෝකයක් දකිනු සඳහා ජනතාව වෙත ඇරයුම් කරන යසනාත් ගේ කවි ස්වරය බාල අයැදුමක් නොවේ.

ගොම්මනේ වලා පෙළ පීරනා
රන් පාට එළිය සේ ඔබ එන්න
හරිත ලා දළු පත්‍ර නළවනා
සිහිල් පවනැල්ල සේ ඔබ එන්න

මේ අයුරින් ඔහු පීඩිත, රෝගී සමාජය තුළ නව කවියේ කාර්යය, කුසීත බව ගිලන් බව දුර හැර, නව ලෝකයක් පිළිබඳ අපේක්ෂාව කවි ගුණයෙන් සංනිවේදනය කිරීම බව හඟවයි. සතතාභ්‍යාසය හා සමග වර්ධනය කර ගන්නා ව්‍යුත්පත්තිය ද සහිතව මේ කවියා අනාගතයේ සරු කවි ලකුණු පළකරන සලකුණු මේ පතන්බිම පුරා මම දකිමි.



No comments:

Post a Comment