Friday, December 25, 2015

10 බැද්දේ යන පොඩි මල්ලිට


මල්ලියේ නුඹේ ඇස් පොඩි දෙකම
ගිනි බෝල වගේමයි
මල්ලියේ,
විටෙක මට නුඹ ගැන
මහා බයකුත් හිතේමයි

උඹ හිතුවා
ලෝකය හරි ලස්සනයි කියලා
ලෝකයේ හැම කෙනෙක්මත්
නිවැරදියි අවංකයි කියලා
උඹ වගෙම

ඒ වුණාට මල්ලියේ
උඹ හිතන තරමින්
ලෝකය ලස්සන නෑ
ළෙන්ගතුකමකුත් නෑ
ගත සරන රුධිරය
එක ම රතු පැහැ බවත් ඇත්ත
එය හැමෝම හිතන්නෙ නෑ
උඹ හිතුවට වඩා බොහොම
වෙනස් මල්ලියේ ලෝකය

මල්ලියේ ලෝකයෙන්
නොලබනා ළෙන්ගතුකමට එරෙහිව
නුඹේ ඔය ඇස් පොඩි දෙකේ දිදුළනා
ගිනි බෝල දිහාවේ
මට බලා ඉන්න බෑ
සොල්දාදුවෙකු නොවී මං
කවියෙකු වුණු නිසා වෙන්නැති

මල්ලියේ උඹේ ඔය ගිනි
උඹ හදේ ඇවිලෙනා ගිනි ම නොව
මම දනිමි
අවුලනා ගින්දරෙන්
ඇවිලෙනා ගින්දරට
දමන කඳු කඳු පිදුරෙන්
වැටුණේද ගිනි කන නුඹේ ඇස
මල්ලියේ බයයි මට

ලෝකයම දුගඳ බව ඇත්ත මුත්
ගිනි ලා හළු කර
ඵලක් වෙද?

මල්ලියේ අපි
පෙම් කරණා හැටි කියාදෙමු
එහි අගය නොතේරෙන මිනිසුන්ට
තේරෙන්නැති නම් ඒ පෙම
ඒ ගොරහැඩි මිනිස්සුන්ට
කියා දෙන්න විදිහක් ගැන හොඳට හිතමු

මල්ලියේ
ගින්දරත් සමග ඔය නුඹ කරණ
භයානක සෙල්ලමක්
නුඹේ ඇස් පොඩි දෙකට
ඔය ගිනි බෝල සැර වැඩියි මල්ලියේ!

මල්ලියේ!!
මල්ලියේ!!!


No comments:

Post a Comment