Monday, December 21, 2015

03 අප්පච්චී


දළුපොතේ ඇළ නියර උඩ
පාවන නුඹේ රුව
හීල් ඇල් සුළඟටත් හිනැහෙන

ළා ගොයම හා දොඩමළුව
බුහුටි කතා වපුරන
තුන් හාර මසකට පසුව
සෙනෙහසේ රන් වියැට බිජු වන

මෝසම් කළුව නැති අහස් ගැබ
ඇස යොමා හූල්ලන
නුඹේ මුව
වැසි දෙවි නෙත
කඳුළු වලකනු කෙලෙස
ගැබ්බරව විළිලන වළා පෙළ
විදුලි එළි එබී හොරැහින් බලන
බණ්ඩි ගොයමට තනි රකින නුඹ
වත සිනා මල් කැකුළු පීදෙන

ඇතැයි කීවත් නුඹ
නොවෙයි ඒ බස අසන
උදැල්ලට නඟුලට
බැඳි පෙම බිඳිනු බැරියෙන
බැරි වුණත් හැමදාම
දළුපොතේ ඇළ නියර මත වඩින

වැල් කැඩුණු ලණු ඇඳ මත
තාමත් නුඹේ බර උහුලන
බිත්ති කන්දට වාරු දීගෙන
පොරණ රජ දා
නේක සුරු විරුකම් පවසන
දරුවන් අද වටේ නැතියෙන
මුණුබුරන් කැළ වටකර
නුඹ විටෙක
පුංචි දරුවෙකු විලසින!

No comments:

Post a Comment