Monday, December 21, 2015
01 ආරාධනා කවිය
ගොම්මනේ වළා පෙළ පීරනා
රන් පාට එළිය සේ ඔබ එන්න
හරිත ලා දළු පත්‍ර නළවනා
සිසිල් පවනැල්ල සේ ඔබ එන්න
අළුයමේ තණ බිස්ස නහවනා
පිනි බිංදුවක් ලෙසින් ඔබ එන්න
ඇවිත් මා අසලකින් හිඳ ගන්න
ජීවිතේ මහ මගේ වැතිරෙනා
බත් හුළට දිය පොදට වැලපෙනා
අහිංසක මිනිස් කැල දෙස බලා
හඬන මගෙ හදවතට
එපා නුඹ හිනැහෙන්න
ලාබ රන් මාලයෙන් සරසනා
බාල සළු ගත වටේ දැවටෙනා
වෙළඳ පුර කම්මලේ පිච්චෙනා
යුවතියන් ගැන සිතා
හඬන මගෙ හදවතට
එපා නුඹ හිනැහෙන්න
තන පොත්ත පපු තුරෙහි ඇකිලෙනා
දරු පැටවු කිරි බිදක් සොයමිනා
වේදනාවෙන් දෑස පුරවනා
අහිංසක මිනිස් කැල දෙස බලා
හඬන මගෙ හදවතට
එපා නුඹ හිනැහෙන්න
පුර පෝය සඳක් ලෙද හිනැහෙන්න
කෝපි මල් සුවඳක්ව ඔබ එන්න
දිරා ගිය කවුළු පත් තුලින් පැන
අවුත් මා අසලකින් හිඳ ගන්න
නුඹේ සෙනෙහස පිරුණු නිරන්තර
දයාබර බැල්මකින් අමතන්න
ඒ දයාබර ඇසින්
ලෝකයේ විෂ නැසෙන
මිනිස්කම සොයා යන
දිගු ගමන් මගෙහි ඔබ
ප්‍රථම පියවර වන්න
( මෙම කව පසුව ගයාන් ගනකධාර සංගීතඥයාගේ අතින් ගීතයකට පෙරලී, සඳමාලි දිසානායකගේ, “කටහඬ ලැබීම” ගී ප්‍රසංගයෙහි ආරාධනා ගීය ලෙස ගායනා විය).
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment