මේ ගං ඉවුරු ඉඩ
අනවසර බිම් කට්ටිය
නෙක බියෙන් හිස පිරුණු
මගෙ පුංචි පැල්පත
බොහෝ දුක් දොම්නස
මසවුළු ලෙසට ඉවසන
නුඹෙ අතින් හැඩ වුණ
මට මහා මන්දිරයක සුව දෙන
වැහැරී ගිය දෙතන
දෙස බලා දුක්වන
රැව වියැකි නිසා නොව
සිඟිති මුව වෙත
කිරි බිඳක් නැතියෙන
යාන වාහන සෙල්ලම්
පාට පාටින් සළු පිළි
නොමැති වුව කේඩෑරි ඇඟ පත
කිරිදත් සිනා පා
තණ පලස මත කෙළිමින
සිදාදියෙ නිරින්දෝ
වර වර කියා කැන්දා
දෙන සොච්චමට කඹුරන
මා වැනිම දිළින්දෝ
රන් වටිණ දා බිංදු වීසි කර
දෙන තඹ කාසි අහුලන
සති අන්ත දිනයක
අතු මාළිගා බලා ඉගිලෙන
විඳි දුක් ම වගුරන
සඟවා ගත නොහැකි විඩා මුව
ඔසවාන නිවහනට වන් සැන
නෑ බෑ නොකියාම
නුඹ සිනා පීදෙන
දුක් විඳින දිළින්දෝ
දුක් අසන නිරින්දෝ
කොයි දාක අපි නියම
මිල අපට ගෙවන්දෝ?
No comments:
Post a Comment