Saturday, January 16, 2016

33 අළුත් සහල් මංගල්‍යය



අතිගරු මහත්වරුණි
වරදක් නම් සමාවුව මැනවි
සැතක් සේ පෙනෙනු ඇත වචනය
හිතුමතේ දමා නොගසමි

රිදෙනු ඇත කැපී තැන තැන
රුහිරු වැගිරෙනා
වරද දත් නිසා
වරද දැන දැන ම මුනිවත
රකිනු ඇති නිසා

කැඳ උගුරක් ඉදෙන
කලකින් බතක් නොඉදුන
ලිග්ගල මතට මුට්ටිය
නගිනා වරම් අහුරන
සුනු සහල් මිටකුදු
මුදලට හැර ණයට නොදෙන

අස්වනු නෙළූ බැවින
ලැබූ බැත සිත තුටු කරණ
සියළු දෙවි දේවතාවුන් වෙත බැතිණ
මේ අළුත් සහල් මංගල්‍යය

වට පිටාවේ නිබඳ
නඟුල් දෑකැති උදළු
සමග සුරතල් වන
අහිංසක නෙත්
බලාපොරත්තුවකුදු නොමැතිව
ඈත..... කොහේදෝ ඈතක
බලන සඳ

දැක
ඉඩම් හිමි වැවිලිකරු දෙවොල අස
උතුරන කිර
අඳ ගොවිතැනේ රඟ අමතක ව
කට කොනක සිනා මල් පුබුදින

අතිගරු මහත්වරුණි,
උන් නමින් මට කියන්
කුමක්දැයි මට කියන්
මේ
මංගල්ලය....!


No comments:

Post a Comment