පතන්බිම මගේ හදවත
තවමත් දිය සීරාව වෑහෙන
පන්හිඳ නිරතුරුව උල් වී
කවි සිතුවිලිම හඬවන
එදා කව් කළ නිමිති
තවමත් එලෙසට ම තිබුණද
නිම් වළල්ලම හැකිලී
ලිග්ගල් තුනට මැදි වින
මං බාලේ ඇති කළ
තලගොයි නොඑන්නම ගිහින්
මා ලියූ කවි පද අනන්තෙට
පවනේ පාව ගිහින්
වැදී සුදන කන් බෙර මත
හැඬවී වෙඬරු හදවත
සම්මානයක් වී ළඟට විත්
කිරි බිඳක් නම් නොවී
මේ පතන්බිම මත
තෘණ පඳුරු
නෙක නෙක කුඩා තුරු අග
හෙට පිපෙන කවි මල් වල
කිරි පිපී නැතිවාට
කඳුළු කැට පිපී දිළිසෙනු ඇත
ඒ කඳුළු සීරාව විලසට
හැමදාමත්ම පහළට
අපේ දුක් ගීත හඬ නොනගාම
දිළිඳු ගොවි කෙත් බිම් පුරාවට
ජීවිතය හා මුසුව ගලනු ඇත
කිරි නැතිවාට දියණී
පතන් බිම නැත තවම වියලී
එහි පිපෙන ගොටුකොළ දඬු
තවත් නෙක නෙක දිව ඔසු
තම්බා නුඹේ මුවට පාමි!
No comments:
Post a Comment