Thursday, December 31, 2015

24 රතු සීනි


කඳුවැටිය සේ වැති ගත්
සැතපෙනා සොල්දාදුවාණනි අවදිවන්
ඌව වෙල්ලස්සට හොරු ඇවිත්!

ඉතිහාසයක් පුරා
පණපෙවූ මහ පොළොව
සිහසුන කරගත් ගොවි රජුන්
සුසුම්ලයි
මරණයේ බිම් කඩ ඉකිබිඳී
සැතපෙනා සොල්දාදුවාණනි අවදිවන්
ඌව වෙල්ලස්සට හොරු ඇවිත්!

ශත වර්ෂ කාලයක් නොකඩවා
රත්තරන් බිජු ඇට ම බිහි කෙරුව
තෙක් යාය වසාගෙන
වෙල්ලස්ස සරු පොළොවේ දලු දැමූ
උක් දණ්ඩෙ උක් පැනිය ලේ රසයි!

මිනිස්කම යට කරන්
කුරිරු බුල්ඩෝසර යකුන් සැරිසරයි
අපේ කම කැබලි වෙයි
දේශයේ මිනිසුනේ
ඇස්පනා පිට ම මේ පෙනි පෙනී
සිහනයක් වගේමයි
ඌව වෙල්ලස්සට හොරු ඇවිත්!
( සැතපෙනා සොල්දාදුවාගේ කන්ද නමින් ප්‍රසිද්ධ කඳුවැටියක් ඌව පළාතේ වෙයි.)


23 පරපුරක උරුමය


වර්ගයේ මහා සම්මත
බලය පිටුපස හඹා එන විට
ඇත්ත
උන් හිටි තැනුත් හැර දා
පලා යනවා හැර කවර දෙද
චූල සම්මත කුහුඹු දන

අනාගතයම කැටකොට
තැනූ බිජු හැර
කිසිත් නෑ වෙන
හැර දමා ආවේ සියල්
වස්තුව බව බෝග සම්පත්
එ මාහැඟි වස්තුව රැගෙන

සොයා අහු මුල්ලක
උතුම් මනු දන තැනූ නිවසක
ඉඩක්
එ මාහැඟි වස්තුව සුරකිනුව

චූල දන ගැන ලියු පොත් ම ඇති
මගේ පොත් රාක්කය
වීය උහු කෙම් බිම
එ මාහැඟි වස්තුව සුරකිනුව

මීයන්ද වේයන්ද කාවන්ද
මහා වද දෙන කැරපොත්තන්ද
නො අඩුව එරෙහි වී සටන් වදින
සතුරු කඳවුරට
තවත් බල ඇණියක්

වහ වහා එසවුණු මගේ අවි
සිතන්නට ඉඩකුත් නොතබා ම
ප්‍රතීක ක්‍රියාවක් සේ
යුධ බිමෙන් පළවා හැරී
ඒ කළු කුහුඹු දන
කෙම් බිම මරු බිමක් විය

නැවත උහු
චූල සම්මත කුහුඹු දන
මහා බලගතු මිනිස් සතුරා අබියස
පලා යනු වෙනුවට
බිම වැටුණු එ මාහැඟි වස්තුව
සොයමින් වැළපෙමින්
දිවි පුදනු දැක ගතිමි
අනාගත පරපුරට
(තම බිජු ඩැහැ ගැනීමට එන වඩා විශාල කුහුඹු විශේෂකට බියෙන් ගම් බිම් හැර දමා යන කළු කුහුඹු ගනාවාසයක් මෙම කවියට නිමිත්ත විය.)

22 මානව සංවර්ධනය හෙවත් පරිණාමය



මිනිස්සු මිනිස්සු මිනිස්සු මිනිස්සු
මිනිස්සු මිනිස්සු මිනිස්සු යක්කු
මිනිස්සු මිනිස්සු යක්කු යක්කු
මිනිස්සු යක්කු යක්කු යක්කු
යක්කු යක්කු යක්කු යක්කු

21 කිරි මව් වළප


මස් වැදලි දියව ගිය
ඇටකෝටු දරමිටිය
බිඳ වැටේ දැයි සැකෙන්
නහර පොටවල් මිටින් ගෙන
බැඳ තබයි නුඹේ රුව

දුකම අනුභව කරණ
සැපක් පිළිබඳ වගක්වත් නැති
දරු මුණුපුරන් මත්තෙම
ජීවිතය දිය කළ
නුඹ නොකියා කියන සාක්කිය
පිටට ඇළුණු කුස පොත්ත
ඉරි තැළුණු කන පොත්ත

වයස් කඩඉම පැන
විසි තිස් ගණන් පසු කළ
නිලදරුන් නැත තවම ඇත කියා
විශ්‍රාම වැටුප මතු සහතිකය
කොහිද නැත වල් වැදී සැඟවිලා
ශිල්ප වඩනා මුණුබුරන් හට
“කම්පනය” පාඩමට
සජීවී නිදර්ශක සපයන
නුඹේ ගත

සිය වසක් ආයු කළ නුඹ වැනිම
ගී ගැයූ යාය දැන් මුවගොළුය
කොළ හැළුණු නීල මහ යෝධයන්
මුළු ගමම කිරෙන් දෝවා වැඩුණු
පතුරු ගැසුවත් නැතිව විරෝධය
කිරි එරී දැයකටම පන පෙවුව
දැන් ඉතින් නම් පුතේ බෑ කියා
යාය නොගයන ගීය නුඹ වැනිම

බෑ කියා නොකියා නොහඬාම
පිහි පාර ඉවසනා
ගලන ලේ බිඳු කිරට හරවනා
අන්තිමම කිරි කඳුළත් පුදන
උනුත් දුක් වෙන හැඩයි
සිඳුණු වී කුරණි ගැන
මිත්තණිය පොල් කටුව මිරිකාන
මළ බැඳුනු බාල්දියෙ
අඩි කට්ට වසන්නට පොර බදන
වැල් කොටු පාදලා කිරි සොයන

දුවා දරුවන් කාසි කිරි සොයා
ගිහින් දීපංකරේ කඹුරන්න
මුණුබරන් තවම සිහිලැති නුඹේ
සෙවනැල්ල යට රැඳී කිරි සොයන
වේලිලා ගියත් ළැම
දරු දුකට කිරි එරෙන
දිරිය මව ලොව වඩන
පොල් කටුව මිරිකලා කිරි සොයන

20 ගර්හිත පෙම්වතාගේ පෙම්වතිය


වටේටම හිස පොවන කටු පඳුරු මැද්දේ
බොහොර දිය ඇස නොගැට
කාශව ගිය රතු රෝස පඳුරේ
සාත්තුව නොලබාම පෙති හැලී රුව මැරී
නටු කැබැල්ලට පෙම් බඳින දේවී

දිය බිඳක් නොලබාම
ඉරිතැලූ වැව් පතුල් ළමැදේ
අව් කූටකේ දැවුණු
තිත්ත කූරියන් අතරේ
කොළ හැලී පොතු ගැලවි කණාටු වු
දර ඉපල්ලට පෙම් බඳින දේවී

ප්‍රේමයේ සුසානය මැද්දේ
දිරා ගිය සොහොන් කොත් සෙවනේ
වියළි පරඬැලා පත් අතරේ
රුහිරු මස් දියව ගිය
ඇටසැකිල්ලට පෙම් බඳින දේවී...

19 බොල් පිළිම


මා සොඳුර,
පුත් කුමර,
බලනු තෙළ පෙනෙන මහ ප්‍රාකාර
උඩඟු බැලුමන් පාන
සත් මහල් ප්‍රාසාදයයි
ඇසි පිය හෙළාදැයි සැක හිතෙන
ඉටි රූප කුමර කුමරියො වෙසෙන
සත් මහල් ප්‍රාසාදයයි

එමැද කොටු වී තැනුන
උයනකිය නේක මල් පුබුදින
කුමාරිය අණ පනත් පෙරදැරිව
දැසි දසුන් දහඩියෙන් කිරි පොවන
මහ ගොඩක් වර්ණ මල් හිනැහෙන

බෝතල් කටු දත් කුට්ටම් විරිත්තන
පවුරු,
පවුරු දොර
සෙබල මුළු රෑ දිවා නිදි වරණ
අවශේෂ දනන් හට
ඒ උයන පුබුදිනා මල්වල
රැව බලා තුටුවෙන්න තහනම
නෙලා ගෙන යාද සැකයෙන
කහවුණු වැය කර රැකවළ

උදේ විකසිත වන
මුකුලිත වේය සවසට
මල්වතක රුව පෙති වලට මිස
සුවඳට කළ නොහැකි වාරණ
හැඩහුරුකම් නොදැක්කද
පුර දනෝ හඳුනති
ගුණ සුවඳ

මා සොඳුර,
පුත් කුමර,
තෙළ පෙනෙන ඒ මහා ප්‍රාසාද
ඔටුණු නොපළන් රජුන් වැඩ වසන
එහි හමන සුළඟකිය
බොල් බිජුවට බිම හොවන
පිරුණු බිජු ගසාගෙන ඉවත යන
ඒ පිරුණු බිජු ගෙනෙන සුළඟම ය
රුවට උදයේ පිපෙන
යළි සවස පරව යන
මල්
රැකවළුන් දෑසේ තබා
පුර දනන් වෙත බැතින්
ගුණ සුවඳ හා මුසුව හමා යන!

18 මව් වරුණ


නෙතු පැළී ගලන කඳුළැලි බිම වැටෙන්නට නොදී
දිවි දෙවැනි කොට රකින මා හැඟි වස්තුවක් මෙනී
නුඹ ලොවින් සඟවලා
නෙතු මිනි කඳුළු සඟවලා

හද පතුල දෙබෑ කර නැගෙනා සුසුම් සුළි සුළං
පෙනහළු කුහර තුළම සිර කර පිටව යනු නොදී
නුඹ ලොවින් සඟවලා
සුසුමන් ගඟත් සඟවලා

කුස පොත්ත ඇලී පිට පොත්තේ නිදන හාමතේ
සාගින්න බුර බුරා නැගෙනා දුමත් සඟවලා
තනපොත්ත මිරිකලා
ලොවටම බෙදන සෙනෙහෙ පැන්

Saturday, December 26, 2015

17 ජීවිතේ පෑල විය මුණගැසුණු මිතුරු පෙම


කරඳ ගහ
සෙනෙහසින් අතු ඉති ද නමාගෙන
වෙනදාට වාගේම හිනාවෙන
පුරුද්දට වගෙ අදත්
දැහැටි කෝටු සුඹුලක් දී
වසර ගණනක් පුරා හිතවත්
මිතුරු දම් යළි නගා සිටුවයි

එදා නුඹ දුන් දැහැටි කෝටුව
කසට දත් ඔපවත් කළා
හිනාවුණු හැටි මතකයේ
අද ඊයෙ වාගෙම තියේ

හැමදාමත්ම අරුණේ
සිනා සී අතු සලන
නුඹට පුදනා තුති බැල්ම
තැනින් තැන හිස ය අද
එදා සුදු දත් පෙළ

දතුත් කිරි කජ්ජක්ද
නර කෙසුත් ඔච්චම් කරාවිද
උක්කුබණ්ඩෙත් එහා ගම් ගොඩේ
ගිහින් ආයම නොඑන්නට

දැං ඉතින් ගෙනා කල්
අහවරට ළං වෙලා
උක්කු බණ්ඩේ ගිය ගමන
යන්න එන මං බලා
හඬන්නේ කුමකටද
හිඳින්නේ හිනැහිලා
නුඹට වාගේම මම
හිදැස් දත් පෙන්නලා හිනැහිලා

කරඳ පඳුරේ නුඹව
ගමට අමතක වුණේ කොහොමද
හරියටම මං වගෙම
කෘත්‍රිම දත් බුරුසු ගෙට ගෙවදිලා
නුඹ තරම් ගුණවන්ත නොවුණාට

අනේ මේ අපි ගැන
දැන් උං මොනවා දනීද
හෙට දිනෙක කැති පාර වදින තුරු
නුඹත් පෙර මග ඔහේ බලාගෙන
මමත් පෙර මග ඔහේ බලාගෙන
උක්කු බණ්ඩේ ගිය ගමන
යන්න වෙන දවස ගොඩ වෙන තුරුම

16 අඟුටුමිට්ටාගේ ‍ප්‍රේමය


බාල සළු ගතේ දැවටෙන
ලාබ රන් ගෙලේ දිදුලන
නෙරළු පත් පැලේ නිවසන
කුරා කුහුඹු පෙම්වතාය
සිටු කුමාරි මං

පොලුත් සුනු සහල් බත් පත
ලුණුත් ඉස රසට අනමින
අවුළුපත් නොලැබ රස කළ
කුරා කුහුඹු පෙම්වතාය
සිටු කුමාරි මං

දෝලාද ඇතත් හඳුනන
කිසි දිනත් උඩින් නොවැඩිය
කර පිටින් රජුන් ගෙන ගිය
කුරා කුහුඹු පෙම්වතාය
සිටු කුමාරි මං

හිරු සඳුත් තෑගි ලෙස නුඹ
ඉල්ලමින් සලන කඳුලැලි
දුටත් මම් කුමක් කරණුය
කුරා කුහුඹු පෙම්වතාය
සිටු කුමාරි මං

යතත් හෙට දිනේ සමුගෙන
දෙනෙත් තෙත් වේය කඳුලින
එහෙත් පතනෙමිය සුව සෙත
කුරා කුහුඹු පෙම්වතාය
සිටු කුමාරි මං

( මෙම කවිය පසු කලෙක සුළු වෙනස්කම් සහිතව විශාරද ගුණදාස කපුගේ විසින් සංගීතවත් කර විශාරද ගුණදාස කපුගේ විසින්ම ද, ලක්ෂ්මන් වීරසිංහ විසින් සංගීතවත් කර විජේසිරිවර්ධන පොළොන්නෝවිට විසින්ද ගායනා කරණ ලදි.)

15 මගෙ සුමිතුරු විද්‍යා හා කලා මිතුරු


“කවි ලියනවා උඹ.....?
ගොං පාට්
පාඩමක් කරගනින්
විභාගය ඇන ගත්තොත්
කලාව දාපං බල්ලට
කාටද බං හරි ගියේ.....”

එකෙක් හදවතට ගැහුවා
පයිං එකක්
මුතු පොට සේ අමුණා තිබු
වදන් වැලක්
රස කවියක්
සී සී කඩ ඉහිර ගියා
විද්‍යාවෙන් උපන් මිතුරු
දුන් පා පහරට සුමිතුරු

“කරණ වැඩේ කර ගන්නැති
මෝඩයෙකිය උඹ නම් මහ
විද්‍යාවයි කලා කෙතයි
අහසයි පොළවයි වාගේ
හිරු එන විට සඳු යනවා
සඳු එනවිට හිරු යනවා
ඒ වාගෙයි
උඹේ වැඩක් කරගෙන
උඹ හිටපං බං
කලාව කවි කතා ගීත
අපි ඉන්නේ ඒවාටයි.......”

තවත් එකෙක් පයින් ගැහුව
හදවත උඩ විසිවෙන්නට
අමුණා තිබු තව කවියක්
රන්හුය පට ලිහී ගිහින්
වචන වචන ඉහිර ගියා
කලා මිතුරු පා පහරට

අතුරු මිතුරු දඹදිවතුරු
විද්‍යා හා කලා මිතුරු
එදා පටන් මේ වන තුරු
ඇහිඳිනවා අකුරු අකුරු
අමුණනවා වචන පොකුරු
උදේ හවා රෑ වෙනතුරු
පබඳිනවා ගීත කැකුළු

අයිතිය නොමදැන හරියට
පබඳින්නට කවි ගී පද
විද්‍යාවද කලා කෙතද
හරියට මේ මගෙ උරුමය
කොතැනද වෙන් වෙන කඩඉම
හරියට ඒ කිසිත් නොදැන